පසුගිය වෙසඟ මස අවසන් සතිය තුල
පැතිරි ගොසින් මංගල සිරි සුවඳ නල
සුමඟුල් විවාහය පිලිබඳ කුසුම් වැල
පැලඳෙන මොහොත එලැඹිණි කවියෙකුගෙ ගෙල
එක් කර සිය නැ සුමිතුරන් සොයා
එලැඹෙන මඟුල් මොහොතට තිස් පැයක් තියා
සැරසි තරුණ කවියෙකු රජ කුමරු නියා
රිය මැදිරියේ නැඟ දුම්බර දෙසට ගියා
අවරට ගොසින් දිනකර පැයකට පස්සේ
රිය මැදිරියෙන් බැස මල් ගොමුවක ඔස්සේ
සීතල සුලඟ විඳ විඳ තුති මල් වැස්සේ
හෙමිහිට ගියෙමි මම කඳු මුදුනක ඔස්සේ
දල්වා පහන් හැම තැන උඩු වියන් බැඳ
සුදු රෙදි වලින් සරසා පුටු මේස ඇඳ
පිලියෙල කරපු මංගල ගේ තුලට වැද
මම පසු වුනෙමි හිතවතියක දකින ලෙද
ගෙල මල් මාල ලා හිස සුදු ඔටුනු බැඳ
පසුදා පාන්දර උඩරට ඇඳුම ඇඳ
පිලියෙල කෙරුණු මංගල පෝරුවක් මැද
මම පසු වුනෙමි හිතවතියක දකින ලෙද
අබරණ පැලැඳ කණ කර දෙපයද දැත
තනි සුදු ඔසරියක් ඇඳ දුරු කර බීත
නාදය ඇසෙන විට ජයමංගල ගීත
මගෙ හිතවතිය මා ලඟ විය සුවිනීත
මංගල සිරිත් සිදුවිය එකකුදු නොහැරී
වත්කර අතට පැන් කෙණ්ඩියකින් මිහිරී
කවියෙකු සමඟ උඩරට රුබර කුමරී
අබිෂේකයක් ලැබුවා පෙම් ලොව මිහිරී
ඉන්පසු කුමරියක් ලොකු මල් මිටක් නෙලා
සුරතේ තැබු පසු සිත සොම්නසින් පෙලා
උඩරට මගේ මැනිකේ මා ලඟට වෙලා
රිය මැදිරියේ ආවෙමු "නන්දන"ය බලා
පුංචි බණ්ඩා හේරත්
1943 මැයි