Sunday, May 19, 2019

ආදරණීය ජීවිතය

මේක ටිකක් වෙනස් කතාවක්. මීට අවුරුදු දෙක තුනකට කලින් ගෞරි ශින්දේ මේ කතාව කියලා තිබුනත්, ඒ කතාවත් එක්ක තිබුනු අනිත් කතා හින්දා මේ කතාව ටිකක් මොලේට වැටෙන්න පරක්කු වුනා.

අපි ජිවිත කාලයම හොයන ඒ එක විශේෂ පුද්ගලයෙක් ඇත්තටම ඉන්නවද? ඒ එක සර්ව සම්පුර්ණ සම්භන්ධතාවයක් අපිට ගොඩනගාගන්න පුලුවන්ද? ඒත් ඇයි අපිට එකම එක සම්භන්දතාවයක් හොයන්නේ? ගෞරි ශින්දේ කියන විදියට අපිට ජිවිතේ සම්භන්දතා ගොඩක් තියාගන්න ඕනේ. විවිධාකරයේ සම්භන්දතා. විවිධාකර අද්දැකීම් එක්ක.

සංගීතය රස වින්දින්න සංගීත සගයෙක්
කෝපි බොන්න කෝපි සගයෙක්
ඕපදූප කතාකරන්න ඕපදූප සගයෙක්
රොමාන්තික වෙන්න රොමාන්තික සගයෙක්
පොතක් ගැන කතා කරන්න හරබර සංවාද සගයෙක්

එහෙම නැති වුනොත් එක්කෙනෙක්ගෙන් ඔක්කොම දේවල් බලාපොරොත්තු වුනාම තියන එකත් නැති වෙනවා. ඒත් ඉතින් අපේ දූපත් මානසිකත්වයත් එක්ක තමන්ගේ සගයන්ට අනිත් සගයන් එක්ක සම්භන්ධතා පවත්වන්න කොච්චර දුරට ඉඩ තියනවද කියන එක ප්‍රශ්නයක්.

එක පුටුවක් ගන්න පුටු දහයක් ට්‍රයි කරන අපිට ජීවන සහකරුවෝ ට්‍රයි නොකර තෝරගන්න එපා කියලයි ශින්දේ කියන්නෙ.

ඒත් එක්කම මේ ජිවිතේ තියන කෙටි කාලේ ගැලපෙන්නෙ නැති දෙවල් එක්ක ඔට්ටු වෙන්න වැය කරන්නේ නැතුව ඉන්න, වෙනස් අද්දැකීම් ලබාගන්න ට්‍රයි කරනවනම් සතුට හම්බවෙන්න තියන සම්භාවිතාවය ටිකක් වැඩිවෙනවා.

Tuesday, January 15, 2019

මේ ලෝකෙට තවත් ළමයි

ෆේස් බුක් එකේ වීඩියෝ එකක් ශෙයා වෙනවා අම්මා කෙනෙක්ව දුවෙක් ගෙයින් එලියට දාපු එකක්. ඒ පොස්ට් එකේ කමෙන්ට් තමයි බලන්න ඕනේ. කතාව එක පැත්තකින් විතරක් අහලා මිනිස්සු ඒ දුවට අම්මම්මෝ නැතුව බනිනවා.

අනිත් කතාව අර නුවර ගින්නෙන් ළමයි බේරගත්ත තාත්තා කියනවා ළමයි හින්දලු දුක් විඳින්නේ. අහවල් මගුලකට ළමයි හැදුවද දුක් විඳින්න??

මට තාමත් තේරුම් ගන්න බැරි දෙයක් තමයි ලංකාවේ දෙමාපිය දුදරු සම්භන්ධතාවය.

අවස්තාව එක
හිතන්න ඔන්න දෙන්නෙක් කසාද බඳිනවා. ඊට පස්සේ හිතනවා අපිට ළමයෙක් ඕනේ කියලා. කාගේද අවශ්‍යතාවය?? දෙමව්පියන්ගේ. ඇයි ?? ළමයි නැති වුනොත් සමාජයෙන් බේරුමක් නැති වෙනවා. කවද්ද ළමයෙක් හදන්නේ, කවද්ද ළමයෙක් හදන්නේ කියලා. ඔන්න ඉතින් ආඩම්බරේට ළමයෙක් හදනවා. ඊට පස්සේ කිරි දෙනවා. ඊට පස්සේ කියනවා අර ළමයා කිරි වලට ණයයිලු. තමන්ගේ අවශ්‍යතාවයට ළමයෙක් හදලා තමන්ට ඕනේ හින්ද කන්න බොන්න දීපුවට අර ළමයා දැන් ඉල්ලපු නැති ණයක් ගෙවන්න ඕනේ.

අවස්තාව දෙක.
හිතන්න ඔන්න දෙන්නෙක් කසාද බඳිනවා. ඊට පස්සේ හිතනවා අපිට ළමයෙක් ඕනේ කියලා. කාගේද අවශ්‍යතාවය?? දෙමව්පියන්ගේ. ඇයි ??  වයසට යද්දී කවුද සලකන්නේ? මේ මොකද්ද? ආයෝජන සැලසුමක්. ඉතින් ආයෝජන සැලසුම් කියන ඒවා බොහොම අවදානමක් තියන දේවල්. හරියන්නත් පුළුවන්. වරදින්නත් පුළුවන්. වැරදුනොත් ඉතින් එකට ළමයට බැනලා වැඩක් නැනේ. මොකද අවදානමක් අරගෙනනේ තීරණය අරන් තියෙන්නේ.

ඉහත අවස්ථා දෙකේදීම ළමයා ලොකුවෙනකොට මුනදෙන්න වෙන දේවල් එක්ක තමයි අවසානෙදි ළමයි ප්‍රතිචාර දක්වන්නේ. ගෙවල්වල අඩදබර, ආර්ථික අපහසුතා, මානසිකව බලපාන භීෂණ තත්ව එක්ක අවසාන ප්‍රතිපලය වෙනස් වෙනවා. එකට ළමයින්ට දොස් කියන්න පුලුවන්ද?

ළමයෙක්ව මේ ලෝකෙට ගෙනල්ලා කන්න බොන්න දීලා උගන්නලා කසාද බන්දලා දෙන ගමන් තමන්ගේ අවසාන කාලේ ජිවත් වෙන්නත් ක්‍රමයක් හදාගන්න බැරි නං හොඳම වැඩේ මේ ලෝකෙට තවත් ළමයි නොගේන එක.

තමන්ට පුළුවන් නං තවත් ජිවිතයක් මේ ලෝකෙට ගෙනල්ලා ඒ ජිවිතේ ලස්සන කරලා ඒ ජීවිතේට උදව්වක් වෙන පරම පරාර්ථකාමී චේතනාවෙන් නං ළමයි හදන්නේ අන්න එතකොට ළමයෙක් හැදුවට කමක් නෑ.

එහෙම නැතුව තමන්ගේ මහන්තත්තකමට එහෙම නැත්තන් ආයෝජනයක් විදිහට නැත්තන් තමන්ගේ ආශාවල් පාලනය කරගන්න බැරුව මේ ලෝකෙට එන ළමයින්ට, ඒ ළමයි සාර්ථක ප්‍රතිපල නොදෙන එකට ඒ  ළමයින්ට මොනවත් කියන්න පුලුවන්ද?

හැබැයි මොන චේතනාවෙන් ළමයි හැදුවත් ලාංකික දෙමව්පියෝ හිතන් ඉන්නේ ඒගොල්ලෝ මාර දෙයක් කරා කියලා ඒ ළමයි වෙනුවෙන්....

Thursday, September 17, 2015

සහීර් - පළමු ප්‍රසුතිය

‘මේක හරියන්නේ නැහැ.’
‘ඒත් ඔයා මටත්, මං ඔයාටත් ආදරෙයි. එහෙම නේද?’
‘මං දන්නේ නැහැ. නමුත් ඔයා අහන්නේ මං ඔයාව ආශ‍්‍රය කරන්න කැමැතිද කියලා නම්, උත්තරේ ඔව්. අනික් අතට ඔයා අහන්නේ මට ඔයා නැතුව ජීවත් වෙන්න පුළුවන්ද කියලා නම්,
ඒකටත් උත්තරේ ඔව්.’

මගේ පනටත් වැඩිය මං ඔයාට ආදරෙයි කියලා කිව්වත්, ඔයා නැතුව මට ජිවත් වෙන්න බෑ කියලා කිව්වත් ඔය උඩින් තියෙන්නේ අපි හැමෝගෙම ජීවිතවල ඇත්ත. වාක්‍යක් වාක්‍යක් ගානේ කියනවාගෙන යනකොට හැමදාම පොලෝ කොය්යෝගේ පොත් වලින් දැනෙන ඇත්ත නේද කියන හැගීම දනවන සහීර් පොතේ දෙබසක්. හෙට ඒ කියන්නේ සැප්තැම්බර් 18 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වෙන සහීර් පොතේ පරිවර්තනයේ කොටසක්. එළිදැක්වීමේ උත්සවයක් පැවැත්වෙන්නේ නැහැ.එත් පොත් ප්‍රදර්ශනයට එන හැමෝටම පොත ගන්න පුළුවන්.

පොත පරිවර්තනය කරන්න හේතු වුනු දේවල් කිහිපයක් තියෙනවා.පලවෙනි කාරණාව අපේ අම්මා මේ පොත කවදාවත් ඉංග්‍රීසියෙන් කියවන්නේ නැති එක. දෙවැනි එක මේ පොතේ මනුස්සයා සැබෑ ලෝකෙදි මට හමුවීම. මුලින් පටන් ගන්නකොට මං හිතුවේ නැහැ මේක මං ඉවර කරයි කියලා. ඒ හින්දා පොත ඉවර වෙනකල්ම කාටවත් කිව්වෙත් නෑ. එත් චැප්ටර් එකෙන් චැප්ටර් එක කියවලා, මට ඊළඟ කොටස කියවන්න ඕනේ, ඉක්මනට ඉවර කරපිය කියලා දවස ගානේ කිව්වේ අපේ සාතන්. සාතන් හිටියේ නැත්තන් සමහර විට මං මේක අතැරලා දාලා කම්මැලිකමට. පොතේ ආරම්බයේ තියෙන ඉතාකාව කවි පන්තිය මම අතින් පරිවර්තනය වුනේ මීට අවුරුදු ගානකට කලින්. ඒ පොතේ මට දැනුනු විශේෂත්වය හින්දම. පොත පරිවර්තනය කරපු පලවෙනි චැප්ටර් එකේ ඉඳන් ඊයේ පොත ප්‍රින්ට් කරලා ඉවරද කියලා බලන තැනට එනකල් උදව් කරපු සාතන්ට විශේෂ ස්තුතිය.

පොතේ චැප්ටර් එකෙන් චැප්ටර් එකෙට ට්‍රාන්ස්ලේට් කරනකොට ඒවා කියවන්න දෙන්න ඕනේ වුනත් තාමත් කියවපු නැති ඔබතුමාටත් බොහොම ස්තුතියි. ඒ කියවන්න දෙන්න ඕනේ වුනු අවශ්‍යතාවය වැඩේ ඉවර කරන්න ලොකු උදව්වක් වුනා.

මීට මාස 5කට විතර කලින් මාරයා මොකද කරන්නේ අහලා පොත ගැන කිව්වම ඉවර කරන කම් ඉන්නවා කිව්වා කැත විචාරයක් ලියන්න.දැන් එකට අවස්තාව තියෙනවා..

සදීපා ප්‍රකාශන ආයතනය කිසිම ප්‍රශ්නයක් නැතුව පොත ප්‍රකාශය කරන්න බාර ගත්තේ නැත්තන් මේක මගේ හාර්ඩ් එකේ පල වෙන්න තිබුනා. 

කරන කියන කිසිම දෙකට එපා කියන්නේ නැති, අයන්න ආයන්න උගන්නපු අම්මටයි අප්පච්චිටයි පින්..


”ඔයා කවද්ද යන්නේ?”

”මම මෙහෙන් උදේ හතහමාරට යන්න  ඕනේ. ඔයත් බර්ලින් යන නිසා අපිට එකම ටැක්සියේ යන්න පුළුවන්.”

”ඔයා කොහෙද යන්නේ?”

”ඔයා දන්නවා මම කොහෙද යන්නේ කියලා. ඔයා මගෙන් ඇහුවේ නැහැ. ඒත් ඔයා දන්නවා”

”ඔව්, මම දන්නවා.”

”අපි මේ මොහොතේ සමු ගන්නවා කියලා ඔයා දන්නවා වගේම”

”අපි හමු වුණු දවසට අපිට ආපහු යන්න පුළුවන් නම්: 

ඔහු හැර ගිය කෙනෙකු නිසා හැඟීම්බරව බිඳවැටුණු මිනිසෙක්, සහ

තමන්ගේ අසල්වැසියත් සමග  උමතු ආදරෙන් සිටි ගැහැනියක්.

මට පුළුවන් වාරයක් මං ඔයාට කිව්ව දේ නැවත කියන්න: ”මම

අප‍්‍රසන්න අවසානය දක්වාම සටන් කරන්නයි යන්නේ. මම සටන්

කළා. මම පැරදුණා, දැන් මම මගේ තුවාල ලෙවකකා යන්නයි යන්නේ.”

”මමත් සටන් කරලා පැරදුණා. මම හදන්නේ කැඩිලා බිඳීලා

ගියපු දේ මහන්න නෙවෙයි. ඔයා වගේ, මටත්  ඕනේ අප‍්‍රසන්න

අවසානය දක්වාම සටන් කරන්න.”

”මම හැමදාම දුක් වින්දා, ඔයා ඒක දන්නවද? මම දැන් මාස

ගානක් තිස්සේ දුක් විඳිනවා, ඔයාට මං කොච්චර ආදරේද කියලා

පෙන්නන්න. ඔයා මගේ ළඟ ඉන්නකොට විතරක් දේවල් වැදගත්

වෙන හැටි පෙන්නන්න. නමුත් දැන්, මම විදෙව්වත් නැතත්,

ඇති කියන්නේ ඇති කියලා මම තීරණය කළා. ඒක ඉවරයි. මට

මහන්සියි. එදා සග්‍රෙබ්වල රැයෙන් පස්සේ මම මගේ රැකවල්

අඩු කරලා මටම කියාගත්තා. කුණාටුව එනවා නම් එනවා. ඒක

මාව කැන්වසයක අලවාවි, සීතලකට ඇද දමයි. නමුත් දවසක

මම සුව වේවි.”

”ඔයාට වෙන කෙනෙක් හමුවෙයි.”

”අනිවාර්යයෙන්ම: මම තරුණයි, ලස්සනයි, බුද්ධිමත්,

හැමෝම කැමති කෙනෙක්, නමුත් මම ඔයත් එක්ක විඳි අත්දැකීම්

ඒ අයත් එක්ක අද්දකීවිද?”

”ඔයා වෙනස් හැගීම් අද්දකීවි. සහ ඔයා දන්නවද, ඔයා

විස්වාස කළේ නැතත්, අපි එකට ඉන්නකොට මම ඔයාට ආදරය කළා.”

සහීර්
පාවුලෝ කොය්යෝ
සදීපා ප්‍රකාශන
මිල රු.400.00

Wednesday, April 1, 2015

සාමාන්‍යයෙකු ලෙස පැවතීමට ගැහැණියට ඇති අයිතිය තහවුරු කරමු. - ලිපිය ලියවෙන්නේ ඇයි??

සාමාන්‍යයෙකු ලෙස පැවතීමට ගැහැණියට ඇති අයිතිය තහවුරු කරමු. 
ඉහත ලිපිය හා සම්භන්ධව කෙරුණු කතාබහවල බොහෝ අවස්ථාවලදී නිමිත්ත ප්‍රධාන මාතෘකාව වී ඇති නිසා, ලිපියක් ලිවීමකින් බලාපොරොත්තු වන දේ වසන් වී නිමිත්ත (මෙහිදී නං ලිඳ ළඟ ඕපාදුපයක් වන තරමට) යට යාමෙන් වලක්වා ගැනීම සඳහා ලියමි.

මෙය ලෝකයේ ඕනෑම රටක කාන්තාවන් ලෙස ඉපදෙන සියලු දෙනා අඩුවැඩි වශයෙන් මුහුණ දෙන, අප වැනි තුන්වන ලෝකයේ රටවල් වල සමාජ සම්මුතීන් ලෙස පවතින විවිධ මත නිසා බහුලව මුහුණ දීමට සිදුවන සිදුවීමක්. මේ ලිපිය කියවීමන් පසු මිතුරෙකුට සබැඳිය යැවූ විට ඔහු ඇසුවේ "මේ ලිපිය ලිව්වා කියලා මොකද්ද වෙන්නේ?" "මෙහෙම ලිව්වා කියලා මේක නවත්වන්න පුලුවන්ද" කියන එකයි.  ඇත්ත! මේ ලිපිය ලිවීමෙන් අනතුරුව පළවූ අදහස් බැලුවම මේක නවත්තන්න බැහැ කියන එක සහ ඕවර් රිඇක්ට් කිරීමක් ලෙස බොහෝ දෙනා දකින බව පෙනෙනවා. නමුත් දවසකට හෝ කාන්තාවක් වී බැලිය නොහැකි පුරුෂයන්ගෙන් එම අවස්ථාවල දැනෙන මානසික පීඩනය තේරුම් ගැනීම බලාපොරොත්තු වෙන්න බැහැ. අපි කාන්තාව ඉල්ලන්නේ තමන්ටත් සාමාන්‍ය පුරුෂයෙකුට ජිවත් වෙන විදියට ජිවත් වෙන්න ඉඩ දෙන්න කියලා. මේක සම තැන ඉල්ලීමක් නෙවේ. (සමතැන පිලිබඳ මගේ මතය වෙනමම කතාවක්)

නමුත් මේ ලිපියෙන් වෙන්නේ මොකද්ද? එක තේරුම් ගන්න දැනට අවුරුදු පනහකට විතර පස්සට යන්න වෙනවා. දැනට අවුරුදු පනහකට විතර කලින් කාන්තාවන් රැකියාවකට යාම අතිශය විරල දෙයක් වුනා වගේම ඒ කාලයේ පියවරු මව්වරු එක නුසුදුසු දෙයක් විදියට හිතුවා. නමුත් කාන්තාවන් ක්‍රමයෙන් අධ්‍යාපන අයිතිය දිනා ගැනීම වැනි කඩයිම් කිහිපයකින් පසු ඒ අවස්ථාවට ලඟා වූවාසේම ලඟා කරගත යුතු අත්කර ගතයුතු අයිතියක්. {මේ ලිපියේ නිමිත්ත හරහා ශ්‍රී ලාංකීය සමාජයේ ඒ අවස්තාව උදා කරගැනීමට කාන්තාවනුත් විරුද්ධ වීමට හේතුව තමයි නිමිත්තේ කාන්තාව බාර් එකකට යාම. නමුත් බීම හල නොසලකා හැරීයත් මුහුඳු වෙරලක් සංගීත සංදර්ශනයක් හෝ එවැනි බොහෝ අවස්ථාවලට සහභාගී වීමට කාන්තාවන්ට බාධක ඇති බව අපි සියලු දෙනා දන්නා දෙයක්. බාධාවක් ඇතිය යනුවෙන් අදහස් කරන්නේ පිරිමියෙකුගේ අතේ එල්ලීමෙන් තොරව යා නොහැකි බව මිස තමන්ගේ බිරිඳ හෝ පෙම්වතිය අතේ එල්ලාගෙන මම නං එක්කන් යනවා කියන එක නොවේ.} අවුරුදු පනහකට කලින් දුවරු රස්සාවක් කරනවාට විරුද්ද වුනු දෙමව්පියන්ගේ, දුවරුන්ගේ දරුවෝ අද රස්සාවක් කරනවාට ඒ දෙමව්පියෝ විරුද්ධ නොවනවා මෙන්ම වියයුතු විකාසනයක්.

ඊළඟ ප්‍රශ්නේ "හරි එහෙම සමාජ මතයක් ගෙනාවා කියමුකෝ. එහෙම මතයක් තියන සමාජයක කෙනෙක්ට අනතුරක් වුනොත් ඒ සාමාන්‍ය කෙනෙකු විදියට හැසිරෙන්න අයිතියක් තියනවද කියපු අය එකට වග කියනවද?" එකත් හරියටම රස්සාවක් කරනවා වගේම තමයි. අද රස්සාවට යන කාන්තාවන්ට කාන්තාවක් වීම නිසා රස්සාව කරගෙන යාමට බාධා තියෙනවා. නමුත් එහෙමයි කියලා බහුතර කාන්තාවෝ රස්සා නොකර ඉන්නවද? කෙනෙක්ට තමන්ට ගැටළුවක් තියෙනවා නම් එකට පෞද්ගලිකව ක්‍රියා කිරීම හෝ රස්සාවකට නොයා ඉඳීම පෞද්ගලික කාරනාවක්. නමුත් සමාජයෙන්, ගැටළුවක් ඇති වුනාම වරද කාරයාට ඇඟිල්ල දිගු නොවී ඇයට අවැඩක් වීමට හේතුව රස්සාවට යාම කියලා එක සමාජීයමය ගැටළුවක්. අද සමාජය කියන්නේ නැනේ රස්සා කරන්න එපා කියලා. ඒ වගේම මෙතනදීත් ඇය යන තැන් නොයන තැන් තීරණය කරන එක ඇගේ තීරණයක් මිස සමාජයේ තීරණයක් නෙවෙයි. සමාජයේ තීරණයක් නොවන තැනට තාම ඇවිත් නැහැ. තාම හැමෝම හිතන්නේ ඇය ආරක්ෂාකාරීව ඉන්න නම් ඒ වගේ තැන් වලට නොයා යුතුයි කියලා.

 නමුත් රස්සාවක් කරන්න අවධානම  එකක් ගන්න අය වගේම  ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ඕනෑම තැනකට ගොස් ආරක්ෂා සහිතව ඉඳීමේ අයිතිය පිළිගන්නා, එහෙම යන්න අවධානමක් ගන්න අය ඒ සමාජයට බය නොවී තමන් නිවැරදි බව විස්වාස කරන්න, ධෛර්ය නැති කරගන්න නොදී හැමෝම ඒ අයිතිය විස්වාස කරන සමාජයක් ගොඩ නගන්න නම්, අවධානමක් ගන්න අයව ආරක්ෂා කිරීම, සාමන්යෙකු ලෙස හැසිරීමේ අයිතිය පිළිගන්නා අපි හැමෝගෙම යුතුකමක්. ඒ අයිතිය තවත් පරපුරකින් පසුව හරි උදා කර ගැනීම රස්සාවක් කිරීමට අයිතිය දිනා ගත්තා මෙන්ම කාන්තාවට තවත් පියවරක් ඉදිරියට යන්න කරන උදව්වක්.

මේ ලිපියට "ඕක ඔච්චර කෑ ගහන්න දෙයක්ද" කියලා අද අහන අය වැඩියි. ඒ අය ක්‍රමිකව අඩු වෙන්න, සාමාන්‍යයෙකු ලෙස හැසිරීමේ අයිතිය විස්වාස කරන අය ඒ ගැන කතා කිරීම අවශ්‍යයි. සමාජ මතයක් ගොඩ නගන්න ඒ ගැන විස්වාස කරන අය බහුතරය විය යුතුයි. මේ ලිපිය ලියවෙන්නේ ඒ නිසයි.

ඔබත් කාන්තාවටත් සාමාන්‍යයෙකු ලෙස හැසිරෙමේ අයිතිය ඇතැයි විස්වාස කරනවාද? එහෙනම් හඬ නගන්න...එක්වෙන්න....