Tuesday, February 17, 2015

ඉතින් සමාවෙන්න

තව අවුරුදු  විස්සකින් විතර සුනේත්‍රාගේ ප්‍රේම පුරාණයේ දෙවැනි කොටස මං අතින් ලියැවේවි. ඒ වෙද්දී තවත් ප්‍රේම පරිච්චේද දහයක්වත් තෝරාගන්න ඉඩ ලැබුනොත් වාසනාවක්. එක රැයකින් යෝගිනියක් බිහි වෙන්නේ නෑ කියන එක දැන් ජිවිතේ මොටෝ එක වෙලා. ඊළඟ අවුරුදු විස්ස ඇතුලත හමුවෙන හැම කෙනාම හිතේ සටහන් තියන එකක් නැති වෙන්නේ බොහෝ වෙලාවට පරම මෛත්‍රිය (ප්‍රේමය) අපේ හිත් කොනිත්තන්නේ නැති නිසා. අපිට ආදරය කරන අයට අපි ආදරය කරන්නේවත් අපි ආදරය කරන අය අපිට ආදරය කරන්නේවත් නැති නිසා. සමහර මිනිස්සු ඉපදෙන්නෙම චාරිකා කරන්න. එහෙම මිනිස්සුන්ට එක තැනක නවතින්න බෑ. එහෙම මිනිස්සුන්ට කේන්දර ගැලපුණු පලියට බඳින්න බෑ.

ඉතින් තව අවුරුදු විස්සකින් ලියවෙන මගේ පොතේ සටහන් දැන්ම එකතු කරන්න වෙනවා. නැත්තන් ඒ වෙද්දී සමහර මිනිස්සු මට අමතක වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්තන් පොතට ඇතුල් කරන්න ඊට වඩා හොඳ පරිච්චේද තියෙන්න පුළුවන්. ඕවා මේවා තෝරාගන්න දැන්ම සටහන් කරලා තියෙන එක හොඳයි. එත් ඒ පරිච්චේද දැන් මෙතන ලියන්න අවසර නෑ.

දිය රකුසෙකුට වුනත් ප්‍රේම කරන්න ගැහැනියකට පුළුවන් කියලා පොතේ සටහනක් තියන්න ඕනේ. වැද්දට කඩුව දුන්නු මනමේ කුමරියට වුනෙත් ඒකයි. එත් ඒ ආදරය පවත්වාගෙන යන එක ඒ තරම් සරල කාරනාවක් නොවෙයි. දෙවැනි පරිච්චේදේ පටන් ගන්න ශෝබා ඩි ගේ සොල්ට්‍රි ඩේස්වල ගෝඩ් ගේ හැඳින්වීම කියවලා එනවද නැත්නම් මගේම එකක් අලුතින් නිර්මාණය කරනවද කියලා හිතලා බලන්න ඕනේ. ඒක කිසිසේත්ම ප්‍රශංසාවක් නොවේ.

එක පරිච්චේදයක නැති දෙයක් තවත් පරිච්චේදයකින් ඉගෙන ගන්න හින්දම කවදාවත් තෘප්තිමත් වෙන්න බෑ. එ හින්දයි එක රැයකින් යෝගිනියක් බිහිවෙන්නේ නැත්තේ. බරණැස් වලට යන රාත්‍රී දුම්රියකදී නන්නාදුනන බටහිර ජාතිකයෙක්ව සිපගත්තට පස්සෙත් ඒ ගැන කය්ය ගහන්න රාධා කෙනෙක් ජිවිතේ සැන්දෑ සමයේත් ඉන්නවා (හදිසියේ මරුනේ නැත්තන්) කියලා විතරක් කියන්න පුළුවන්.

යම් විදියකින් ඔබ ඒ පොතේ නැත්නම් ඔබේ ප්‍රේමය අහිංසක වැඩියි නැත්නම් පිවිතුරු වැඩියි. ඉතින් සමාවෙන්න!!