Tuesday, December 2, 2014

හැඩතල වෙනස් වෙන නිමේෂයක..

මේ ලෝකෙට ඇවිල්ලා අවුරුදු විසිපහකුත් වෙන්න එනවා. ඒ අවුරුදු විසිපහ පුරාම මොහොතින් මොහොතට හැම හැඩතලයක්ම වෙනස් වෙලා. ජීවත්වෙන්න තියෙනවා නම් ඉදිරි කාලේ ඒ හැඩතල මොන විදියට වෙනස් වෙයිද කියන්න දන්නේ නැහැ. එත් මේ අවුරුදු විසිපහ ඇතුලේ ඉගෙන ගත්ත එකම දේ සදාතනික සතුටක් නැහැ කියන එක. සදාතනික දුකක් නැහැ කියලා කියන්න බැරි ඉපදීමම දුකක් හින්දා. අපි එකිනෙකා දිහා බලාගෙන එයා නම් සතුටෙන් ඉන්නේ කියලා හිතුවට හැමෝගෙම ජිවිත වල මොකක්ම හරි පසුතැවීමක් අඩුවක් තියෙනවා කියලා දැම්මම මට උගන්නපු ජීවිතේට ස්තුතිවන්ත වෙනවා.

ඕනවට වඩා හිතන මිනිස්සුන්ට කවදාවත් සතුටක් ලඟා කරගන්න බැහැ, අවාසනාවට මමත් එයින් එක්කෙනෙක්. පහු ගිය අවුරුදු පහ පුරාවට හිත ඇතුලේ බිත්ති වල එක එක්කෙනාගේ පින්තුර එල්ලිලා තියෙනවා. සමහර පින්තුර බලෙන් එල්ලපුවා, තවත් සමහර ඒවා දකින්න අකමැති උනත් ගලවන්නත් අකමැති ඒවා. ඒවා මල ගෙදර වගේ අනිත් පැත්ත හරවලා තියෙනවා. මේ ඔක්කොම පින්තුර අයින් කරලා බිත්ති ඔක්කොම සුද්ධ කරලා දාන්න ඕනේ වුනත් එක කරන්නත් ආය මැරිලා ඉපදෙන්න වෙනවා වගේ. ඒ හැම පින්තුරයක්ම නිදි යහනට නින්ද ගෙන නැලවිලි සිතුවිලි වෙලා. ඒ ඒ පින්තුර වල තියෙන්නේ එක එක විශේෂතා. ඒ පුංචි පුංචි විශේෂතා වලින් සදාතනික සතුටක් ලැබෙයි කියලා  කණාමැදිරි එලියට රැවටෙනවා වගේ රැවටුනාට එකේ වැරැද්ද කණාමැදිරියාගේ නෙවෙයි. රැවටෙන අපේ බොළඳ හිතෙයි. පුංචි පුංචි විශේෂතා වලින් පහුවෙනකොට අපිට සතුටක් නොලැබෙනවා නෙවෙයි, එත් එතකොට අපි ඊට වඩා දේවල් බලාපොරොත්තු වෙනවා. ඈත්ම වෙලා ගියාම පුංචි පුංචි දේවලුත් වටින්න ගන්නවා, පේන්න ගන්නවා. ඒක තමයි ජිවිතේ හැටි.

ජිවිතේ බොහොම උද්වේගයෙන් ගෙවිලා යනකොට වේගෙන් අපිව පහුකරගෙන යන්නේ මොනවද කියලවත් අපිට පෙන්නේ නැහැ. ඒ හින්දා කාලෙකට සැරයක් ස්ලෝ වෙන එකත් හොඳයි. එතකොට නැවතිලා බලන්න අවස්තාවක් උදාවෙනවා. සිද්ධ වුනු දේවල් පේන්න ගන්නවා. නැති දේම හිත හොයන හින්දා උණුසුමක් හෙව්වට එකෙනුත් සතුටක් ලැබෙන්නේ නැහැ කියලා යටි හිත දන්නවා. ඒ හින්දා ජිවිතේ ගැන හිතන්න ඉස්පාසුවක් හරි තියන මේ ජිවිතේ හොඳයි. මුකුත්ම වෙන්නේ නැහැ කියලා හිතුවට ජීවිතේට හිමින් හිමින් දේවල් එකතු වෙනවා. ඒ හැම දෙයක්ම මාව ඩිෆයින් කරන දේවල් මිසක් මගේ සැමියා දරුවෝ මගින් මාව ඩිෆයින් නොවෙන නිසා සතුටුයි. ඒ උනාට සමහර වෙලාවට සැමියා දරුවෝ නැහැ කියන එක  නරියා මිදී තිත්තයි කියනවා වගේ කතාවක්. ඒ සේරම එහෙම උනත් ගලවගන්න බැරි චුයින්ගම් එකක් ඇඟේ ගා ගන්න එක මහා වදයක්. දිනුම් කණුවට ලං වෙන්න හදිසියක් නැහැ වගකීමක් නැති උනාම. දිනුම් කනුව ජිවිතේ අවසාන කාලයේදී ලඟා වෙනකොට වටපිට බල බල මග දිගට රසවිඳින්න පුළුවන් වෙන එක වැඩිය වටිනවා. ඉතාකාවට ගියපු උලිසස් ට වගේ. මගදිගට එක එක්කෙනා හම්බ වෙනකොට ටොක්කක් ඇනගෙන මතක් කරගන්න තියෙන්නේ - සිඳ බිඳ ගතහොත් හිමිකම්
                                       ඉඳ හිට හමුවන පිය පුරුෂ දන
                                       දුක නුපදවත්.... කියලා විතරයි. ඒක කරන්න බැරිනම් එක රැයකින් යෝගිනියක් බිහි වෙන්නේ නැහැ කියලා ඇඳට උඩින් ලොකුවට ගහගන්න ඕනේ.

සත් චිත් ආනන්දයට
ජෙට් යානා යාත්‍රිකයෙකු වීමේ කලබලයක් නැත.
ගිමන් හරිමින්
නැවතෙමින්
හෙමින් යන ඉවසුමද සුවයකි...