Wednesday, May 21, 2014

ප්‍රේමයෙන්..

සොයා ගව් දහසකුත් ගෙවා පැමිණියත්
හමුවෙයිද  කිසිම දා නොතිබූ යමක්
ගොදුරුවෙමි තනිකමට නිතිපතා යලි යලිත් 
නිම නොවන ජිවිතේ කොහේ ඇති  නිමාවක් 
ඔබේ ඔය කළු මුණ මගනෑර හැම දවස
සොයන්නේ මාවමද නුඹේ පෙම මට වේද 
කලකට ඉහත පෙමින් බැඳී සුදු මුණ 
කලු වුනේ කෙලෙසකද ජිවිතේ කියන මට 
ඉතින් පවසන්න වෙහෙසයි හුඟක් මට
ජිවිතේ, අප දීගේ නවතින්න කාලයයි 
වෙන්වෙන්න උවමනයි මා ප්‍රේමේ නිමාවයි 
මා ප්‍රේමි මරණයයි, ඉතින් මට අවසරයි 
නුඹට හැකිද ගෙනියන්න මරණයව හමුවන්න?
දැන් ඉතින් වයසයි වෙහෙස එයි ඉක්මනින්
මා ප්‍රේමි මරණේ මෘදුව මා සිපගන්න
ආසයි දොඩමලු වෙන්න එක්ව වෙලී මියැදෙන්න
ප්‍රේමයෙන් මුසපත්ව මරණය හා එක්වන්න 
දෑත් පටලා නික්මෙන්න,
සභාවෙන් අවසරයි..

Sunday, March 17, 2013

සරුංගල් කෙල්ල


 පරිසරයේ ඇත්තේ මුස්පේන්තු වැහි අඳුරකි. හරියටම ඇගේ සිත පරිසරයට දැනුනා වැනිය.හිමින් හිමින් තද කරගෙන එන වැස්සේ මුල් වැහි බිඳු වලට තෙමිගෙනම වේගයෙන් ටොරින්ටන් සංකීර්ණය පසුකරගෙන විත් පැනිදෙනිය බසයට නැගී ඈ, කවුළුව අසල අසුනේ වාඩි ගත්තේ ලංකා බැංකුවෙන් එපිටට පෙනෙන අහසේ අනන්තය සොයන්නට මෙනි.වසර දහයක එපිට අතීතය නැවතත් ඇගේ දෑස් මානයේ මැවෙන්නට විය.

 අවුරුදු එකොළහක නැතිනම් දොළහක කොලු ගැටයෙකුව සිටියදී කළු පාට සපත්තුද මේස් ද ලා දෙමාපියන් සමග ඔහු අසල නිවසට පදිංචියට ආවේය. නාවර පෙරාගෙන අසල පාරේ කොලු රෑනත් සමග දඟලමින් සිටි ඇයට ඔහු අමුතු ජීවියෙකු මෙන් විය.මෙතෙක් කල් ඔවුන්ගේ සාදමින් තිබුණු නිවස රස්තියාදුකාර කොලු රැලගේ සහ එකම කෙලිච්චියෙකුගේ තිප්පල විය.එබැවින්ම ඔහුගේ පැමිණීමෙන් තමන්ගේ මහානර්ග තිප්පොල අහිමිවීමට වරදකරුවා ඔහුම විය.

 පසුකාලයේදී ඔහුත් ඔවුන්ගේ මිතුරු සමාගමයට එක්වුවත් ඒ ඔවුන් මෙන් උදේ සිට නාවර දාඩිය පෙරාගත් කොලුගැටයෙකු ලෙස නොව, සබන් පුයර හොඳ හැටි උලා සැන්ඩ්ල්ස් දමා කකුල් වල ක්‍රීම් ද ගා ගත් කොලුගැටයෙකු ලෙසය. නිවසක් තැනීමට ගෙනා අසල තිබු ගඩොල් ගොඩ මතින් ලෑල්ලක් දමා ඒ මතින් වේගයෙන් බයිසිකල් පැද යන මේ අන්ඩපාලයින් දැක ඔහු බියෙන් ඇලලී ගියේය.කොල්ලන් පමණක් නොව බියට පත් ඔහුට, කෙල්ලෙකුද සිනහ විය.

දෙසැම්බරයේ කඳු මුදුනේ තිබු නිවසේ කොන්ක්‍රීට් ස්ලැබ් එක මෙම කොලු රෑනගේ සරුංගල් ඇරීමේ තිප්පොල විය. පාසල් නිවාඩු කාලය පුරාම ස්ලැබ් එක මත කොල්ලන්ද කෙල්ලද සරුංගල් යවන අයුරු ඔහු අසල තිබු ගල්ගොඩ මතට වී බලා සිටියේය.

අන්ඩපාල වැඩ අතින් කෙතරම් පිටුපසින් සිටියත් ඔහු ඉගෙනීමේ ලා සමර්තයෙක් විය.රස්තියාදුකාර කොලු රැලගේ සියලු දස්කම් අබිබවා ඔහු අධ්‍යාපනයේ සමර්තයෙක් විය.

ඇයට වඩා සිව් වසරකින් වැඩිමහලු ඔහු සාමාන්‍ය පෙළ "ඒ" සමාර්ථ දහයක් සමග සමත් වීමත් සමග කොලු රෑනට ඔහු පොරක් විය.ඉන්පසුව එළඹී වසර දෙක ඔහු වැඩි බජනයකට නාවේ උසස්පෙළ නිසාමය. එහෙත් ඉඩක් ලද සැනෙන් "පිසාවක්‌" නැතහොත් වෙනත් කෑමට යමක් සඳහා ඔහු ඔවුන්ට නිවසට ආරාධනා කළේය.වසර දෙක අවසාන ඇයද ගැහැණු ළමයෙකු ලෙස තැන්පත් විය.තවදුරටත් කොලු රෑනත් සමග රංචුවේ වැටි බයිසිකල් පැදීමට හෝ සරුංගල් යැවීමට ඇයට කාලයක් නොවිය.ඉන්පසු ඇය ඔහු දුටුවේ ඉඳහිට කාරයේ එහාමෙහා යනවාය.

 සියලු සැපසම්පත් මෙන්ම බුද්ධියෙන්ද සපිරි ඔහු ඉතාමත් නිහතමානි තරුණයෙකු විය. බඩු මලු උස්සාගෙන නිවසට එන ඇගේ මවට ඔහු ඒවා ගෙන ආවේ කිසිම පැකිලීමකින් තොරවය.පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක වූ ඔහු උසස්පෙළ විශිෂ්ට අයුරින් සමත් විය. ඔහුගේ පාසලේ ශ්‍රවනාගාරයේ පවතී "සිංහබාහු" නාට්‍ය බලන්නට ගිය දින කොළ රෝලක් වනමින් සිටියා ඇයට තවමත් චිත්‍රයක් මෙන් මතකය.

 පාසලේදී ඇය කොතරම් ඔහු ගැන දෙඩවිද යත් සතියකට වරක් වත් " දැක්කේ නැද්ද _____ අය්යව ?" යි ඇසීමට යෙහෙළියෝ පුරුද්දක් කරගත්හ.වාචාල කටවල් ඇති යෙහෙළියෝ ඔහු ඇයට කැමති බවට පිසාවක්‌ ඔට්ටු ඇල්ලුහ. කරණියමෙත්ත සුත්‍රය පාඩම් කිරීමට තිබු දිනවල ඔවුන් ඔහුව උදාහරණයට ගත්තෝය. ඔවුන්ට එය විනොදයක් ම විය. "සෘජු බව " , "මුදු බව" ලෙස ගෙන ඔහුව එයට ආදේශ කරමින් පාඩම් කිරීම ඔවුන්ට අහ්ලදයක්ම විය.

 ඔහු ගැන ඇසි සියලුම අය ඔහුගේ ගුණම වැයුහ.විශ්ව විද්‍යාලයේ රැග් වූ අය මෙන්ම අල කණ්ඩායමද ඔහුට අසිමිත ගෞරවයක් දැක්විය.

මේ සියලු කරුණු සමග ඇගේ සිතේ ඔහු වෙනුවෙන් බියමුසු ගෞරවයක් ගොඩනැගී තිබිණ.ප්‍රදේශයේ අවුරුදු උත්සවය දා යකඩ බට වැටක් උඩට වී ඔහුත් සමග කතා කරමින් සිටියදී පවා, ඉතාලියේ දේවස්ථානවල ඇති චිත්‍ර බැලීමට යාමට ඔහුගේ ඇති කැමැත්ත පවසද්දී පවා, ඇයට වැඩි යමක් කියාගත නොහැකි වුයේ මේ හැගීම නිසාය.තවත් වරක ඇයට ලිෆ්ට් එකක් දීමට තැත් කරද්දී පසු බැස්සේද මේ හැගීම නිසාමය. " මං ඔයාව කන්නේ නැ " ඔහු සිනා මුසුව කිවා ඇයට අමතක නැත.

 ඇය විශ්වවිද්‍යාලයට ඇතුලත් වන විට ඔහු එයින් පිටවී ගොස්ය. ඒ නුදුරේම පෙර කි කොලු රැල  " අන්න කෙල්ලෝ " ලෙස හඳුන්වන ජාතියේ කෙල්ලක් සමග ඔහු විවාහ වුයේ ජිවිතයේ ප්‍රථම ඒක පාර්ශවීය ප්‍රේමයේ සුන්දර මතක සටහන් ගොන්නක් ඈ සිත තුල ඉතිරි කරමිනි. දැන් ඔහු නොරටය.

එහෙත් මේ අද සිදුවුයේ කුමක්ද??? උදෑසනම "සිටි සෙන්ටරය" වෙත පැමිණියේ බඩු වගයක් ගැනීමටයි.එහිදී ඇයට ඇගේ විශ්වවිද්‍යාල මිතුරෙකු සමග තවත් තරුණයෙකු හමුවිය.ආ-ගිය තොරතුරු විමසීමේදී තරුණයා ඔහුගේ පාසල් සගයෙක් බව කීවිට , ඔහු ඇගේ නිවස අසල බව කීවිට...

" ආ නංගි, ඒ දවස වල ඕකාට හෙන ලව් එකක් තිබුනනේ ගෙවල් ළඟ සරුංගල් ඇරපු කෙල්ලෙකුට"
..............................................................................................................................................................................................................................................................................................



                              ජීවිතය!!
 කවුළුවෙන් මෙපිටට දෑස් ගෙන බසයේ සීනුව හඬවමින් ඈ සිතුවාය.

Wednesday, October 3, 2012

ආලය...

ආලය. ආලය යනු පුදුමාකාරදෙයකි. ආලය විවිධාකාර මුහුණුවර ඇත. එහෙත් සත්‍යවශයෙන් ම ආලය යනු දෙයක් පවතීද යන්න සැක සහිතය. දෙමාපියන් දරුවන්ට ආලය කරන බව පවසයි. එහෙත් අම්මලා දරුවන්ට තලති. ඒ කේන්ති ගියවිටය. එවිට ආලය අතුරුදහන් වේ. නැවත කේන්ති නිවී ගියවිට ආලය මතුවේ. ලොව වැඩියෙන්ම ගීත ලියවී ඇත්තේ ආලය වෙනුවෙන්ය. ආලය ඇතිවීම පිළිබඳවය.ආලය නැතිවීම පිළිබඳවය.වෙළෙඳපොලේ මේ තරම් විකිනෙන වෙනත් දෙයක් තිබේදැයි සැක සහිතය.දිනපතා සීග්‍රතාවය අඩු නොවෙමින් ඉහල යයි.

 මේ ලඟදි මම මිතුරෙකුට කතා කරමින් සිටියෙමි. එවිට ඔහුගේ අනිත් දුරකතනයට ඇමතුමක් ලැබිණි.

ආ කෑවද?? ඇයි කෑවේ නැත්තේ?? ඔහු ප්‍රේමනීය හඬකින් විමසයි. මම චුටි වැඩක මිනිත්තු පහකින් කතා කරන්නම් යැයි පවසා ඔහු නැවතත් කතාව පටන් ගත්තේය. පැණි ඉතිරෙනවා නේදැයි මා ඇසුවෙමි.

එහෙම තමා මුල මාසේ නලවලා තියාගන්න ඕනේ.ඔහු පැවසුවේය.ඇය ගැන මට දුකක් නැත.ඔහු හදන්නට නොයන්නෙමි.ඇයට හොඳ නම් ඔහුට හොඳ නම් මට පාන්ද?? ඔහු ඇය නලවනු ඇත.ටිකදිනකින් ඇයට කතාකිරීම පුරුද්දක් වනු ඇත. ඒවිට ඔවුන් එයට ආලය යැයි පවසනු ඇත.එහෙත් බැරිවෙලාවත් කටින් වචනයක් පිටවුවහොත් ආලය අතුරුදහන් වේ.නැති දේ අතුරුදහන් වීම අරුමයක්මය.නැවත පුරුද්ද මතුවී ආලය ඇතිවනු ඇත.

ඔහු මා දුකින් ඉන්නා විට කුමක් හෝ අලුගුත්තේරු කතාවක් කියා මා සිනා ගන්වයි.නැතහොත් සින්දුවක් හෝ කියයි.ඉතින් ඔහු මට වටිනේ ය.උපදෙස් දීමට ගොස් යාලුවා නැති කර ගැනීමට මට නොහැක.මම ඉතාම හොඳ පුද්ගලයෙකු නොවෙමි.එබැවින් උපදෙස් දියයුතු බව නොපවසන්න.

මා කාන්තා විමුක්තිදාරිනියක්ද නොවෙමි.සිරි ලංකාවේ කාන්තාවන්ට විමුක්තිය ලබා දිය නොහැක. කාන්තාවක්  වෙනුවෙන් පිරිමියෙකුට  යමක් පැවසුවහොත් අවසානයේ නරක මිනිසුන් වන්නේ අපිය.ඒ නිසා ඕනි කුදයක් ගසාගන්නට කියා මා මගේ පාඩුවේ සිටිමි. 2008 සිටි මා දැන් මා නොවේය. 2008 සිටි මාගෙන් දැන් මා මනින අය ගැන සෝරිය. ලීවාට පලක්ද නැත.ඔවුන් මෙය නොකියවයි.

මාතෘකාවෙන් පිට පැන්නෙමි.

ආලය.ආලය බිඩියකි, බිඩි සතපහට දෙකකි. අපේ අප්පච්චිගේ සමරු පොතක එසේ තිබුනා ය.කෙනෙක් මා ගැන අනුකම්පාවෙන්ම මට ආලය නොකරයි.අපේ අම්මා නම් පවසන්නේ නියම ආලය නම් එය බවයි.මා දන්නා මලදානයක් නැත.

ආලය යනු පුරුද්දද?? පුරුද්ද ආලය යනුවෙන් හඳුන්වන්නේමුද?? ආලය පුරුද්ද නොවුවත් ආලය යනු තන්හාවමය.තන්හාවට සිනි ටිකක් තවරා රැස්කරන ලද ආහාරයක්මය.එකිනෙකා ගැන තන්හාවෙන් සිටින්නෙමු.

ආලය මැවි ඇති විටෙක මම ඔහුට මෙසේ සලකන්නම් යැයි සිහිනා මවයි.එහෙත් කේන්තියට ආලය නැති කිරීමට තප්පර ගණනක සෑහේ.

මා දන්නා ජෝඩුවක්‌ සිටියහ. අක්කි අනාත දැරියක් ය.ඇයට දැඩි ලෙස ආලය කල අය්යා කරන්ට් වයරයක්වත් නිවසේ ගැසීමට ඇයට ඉඩ නොදුන්නේය.ඒ අය අහිමි වීමට බියේය.තමන් තනි වනවාට බියේය. එහෙත් සුනාමි දා අවුරුදු 6 ක දරුවාද බිරිඳද දමා මාස තුනක් වයසැති දරුවාද සමග පියා රැල්ලට ගසාගෙන ගියේය.මල ගෙදර ඇය විලාප තැබුවාය. එදින මා තීරණය කලේ කවදාවත් ආලය නොකරන බවටය. නමුත් අවුලක් නැත. මා නොකරන බවට දිව්රා ඇති බොහෝ දේ මා කර ඇත.මා සිතාගෙන සිටි කිසිවක් මෙතෙක් සිදුවී නැත.

කෙසේ වුවද ආලයේ අවසාන ත්‍යාගය කඳුලයි.නැති දෙයක් ඇති දෙයක් උපදවා යන්නට යයි.එය අද වුවද මිය යන දින වුවද පොදුය. එකෙක් නැති වූ විට අනිකා ආලයෙන් දුක විඳි. අවුරුදු සියයකින් මියගියද ජිවත් වන එකාට දුකය.



Saturday, September 22, 2012

අධ්‍යාපන වෙළඳපොල

දෙක තුනේ කැලෑසියේ 
පහ පාස් අට පාස්
එස්. එස්. සි, එච්. එස්. සි 
ඩිප්ලෝමා කැම්පාස්
එන්ට එන්ට වාඩි වෙන්ට
මෙන්න අලුත් කෝස්
දොස්තර පට්ටමේ ඉඳං
පාන් හදන රෝස්
සේල් සේල් පැයෙන් දෙකෙන්
ඉංගිරිසි පාස්
වටිනාකම් ඉහලට ඔබේ 
වගේ කඩේ ගෑස්

හෝඩියේ දරුවෙකු ඉදිරියේ මවන්නේ
හුණු කෑල්ලකින් ඇඳිය යුතු
කුරුටු චිත්රයක් නොව
විසිපස් වසරකට පසුව
ඇඳිය යුතු ව්‍යාපෘති සැලැස්මකි.

තනපුඩුව වෙනුවට පොඩි එකා
උරව්වේ සුප්පුවක්
ලොකු වෙද්දී අම්මා නොව
ඌට ඔනේ වුනේ සේප්පුවක්
ඇට මස් ලේ නහර නැ
මුළු ඇඟම ප්ලාස්ටික් සාප්පුවක්
ගුණදම් සොයන්නට ඇවිදවමු
කනප්පුවක්

අවකාශයට සාපේක්ෂව ඔබ සුදානම් නම් පහත දෑ අනුගමනය කරන්න

ළමුන්ට නම් තබද්දී දැනුවත් වෙන්න
මුලකුරු ගලපද්දී අවබෝදෙන් ඉන්න
එම්.ඒ , ඇල්. ඇල් . බි , පි. එච්.ඩි. දෙන්න
එතකොට ඕනේ නැ වාසිටියේ කටු කන්න

මොකද,

නැහැදුනු ලොකුවුන්ට නොමිලේ 
ආචාර්ය පට්ටම් දීමට වඩා
හැදෙන පොඩි වුන්ට
නොමිලේ ඒවා තෑගී කිරීමෙන්
රටේ අනාගතය වෙනුවෙන් සාපේක්ෂව වැදගත් යමක්
ලබාගත හැකි නිසා..

ලක්ශාන්ත බ්‍රයන් ද සිල්වා
උපුටාගැනීම- අවකාශයට සාපේක්ෂව කෘතියෙනි.